Skip to content
V
WTC හි සොරකම් රැසක් සිදු කළ 'බැට් මෑන්' කොටුවෙයි
featured news - උණුසුම් පුවත්

WTC හි සොරකම් රැසක් සිදු කළ 'බැට් මෑන්' කොටුවෙයි

By News Room · 23 January 2025

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල 'බැට් මෑන්' යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26වන මහලේ පවත්වාගෙන යන කාර්යාල හතරක මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 17වනදාය. ඉතා සූක්ෂමව සිදුකෙරුණු මෙම විමර්ශනයේදී සැකකරු විසින් සොරාගත් ලැප්ටොප් පරිඝණක සහ ජංගම දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ තිහක වටිනාකමකින් යුත් භාණ්ඩද සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

විමර්ශනවලදී පොලිස් නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සොරකම් සිදුවූ සෑම කාර්යාලයකම බිත්තිවල 'BAT MAN' යනුවෙන් යොදාතිබූ සටහනක් සම්බන්ධවය. ඒ අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේ දී පසුගිය 17වැනිදා අලුයම 1ට පමණ හොඳින් හැඳ පැලඳ මුව ආවරණයක්ද සහිතව ඊට ඇතුළුවන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ සැකය යොමු වී තිබේ.

සැකකරු, යතුරු පුවරුවෙන් යතුරු ලබාගෙන එහි කාර්යාල 4කට ඇතුළු වී ලක්ෂ 30කට ආසන්න වටිනාකමක් ඇති ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරාගන්නා අයුරු CCTV කැමරාවලද සටහන් වී ඇත. එමෙන්ම සොරකම සිදුකර අවසානයේ සෑම කාර්යාලයකම බිත්තියෙහි 'BAT MAN' යනුවෙන් සටහනක් තබන ආකාරයද එහි සටහන්ව තිබේ.

පොලිස් නිලධාරීන්ගේ අනුමානය වී තිබුණේ සැකකරු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ අභ්‍යාන්තරය පිළිබඳ හොඳින් දැන සිටි අයෙක් බවටය. ඒ අනුව එහි මින්පෙර සේවය කළ අයගේ ෆේස්බුක් ගිණුම් පිරික්සීමට පොලිසිය පියවර ගත් අතර, 'BAT MAN'ගේ රුව බහුල ලෙස සටහන්ව තිබූ ගිණුමක් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

අදාළ සැකකරු 23 හැවිරිදි ඛාලිද් රියාල් මුහෙයිදීන් නම් සුඩාන එරිත්‍රියා සම්භවයක් සහිත අයෙකු බවට හඳුනා ගැනීමට පොලීසියට හැකිව ඇත්ත් ඒ අනුවය. කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී අනාවරණ කර තිබුණේ, තමාගේ පියා මීට වසර කිහිපයකට පෙර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් උපදෙස් දෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි.

තමන් එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බවත්, ඒ අනුව එහි සෙසු කාර්යාල, ආරක්ෂාව මෙන්ම යතුරු රඳවනය පිළිබඳවද දැනසිටි බවත් ඔහු අනාවරණ කර තිබේ. සොරාගත් භාණ්ඩ ඉතා අඩු මුදලකට අලෙවි කර, එම මුදලින් කැසිනෝ ක්‍රීඩා කළ බවද ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026