Skip to content
V
හිටපු ජනපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම අද විභාගයට
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම අද විභාගයට

By News Room · 7 November 2024

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (7) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැයි චෝදනා කොට සැකකරුවෙකු ලෙස නම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලට එරෙහිව ඔහු මෙම රිට් පෙත්සම යොමුකර තිබුණි.

සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත්ව සිටින එන්. ජේසුදාසන් නමැති පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලික පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබුණේය.

මෙම පුද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සෝභිත රාජකරුණා මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරන ලද පුද්ගලික පැමිණිල්ලකට අදාළව සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කළේය. නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී චෝදනා කළේය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල්තැබුණු අතර එදින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා විසින් වැඩිදුරටත් කරුණු දැක්වීමට නියමිතව ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026