Skip to content
V
සුනාමියට වසර 20යි
featured news - උණුසුම් පුවත්

සුනාමියට වසර 20යි

By News Room · 26 December 2024

එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා.

නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගැනීමත් සමග පෙරවරු 9.30 ට පමණ වියරු වූ උදම් රළ වෙරළ ප්‍රදේශ රැසකට කඩා වැදුණේ පෙරදින උදා වූ නත්තලේ සිරිය විඳගනිමින් සිටි සියලු දෙනාටම දරාගත නොහැකි වේදනාවක් උරුමකර දෙමින්.

ඉතිහාසයේ විහාර මහා දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව පමණක් අසා ඇති, සුනාමිය කියන වචනය පවා අසා නොසිටි අපේ රටේ මිනිසුන් විශාල පිරිසක් උදම් රළට ගොදුරු වෙද්දී බොහෝ දෙනෙකුට මේ සිදුවන්නේ කුමක් දැයි පවා සිතාගැනීමට අපහසු වී තිබුණා.

පැය කීපයක් තුළ සිදුවූ මෙම ව්‍යසනයෙන් අහිංසක ජීවිත 35,000 ක් පමණ අකාලයේ විනාශ වී ගියේ රටම ශෝකයේ ගිල්වමින්. අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණා.

2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වුණා. ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කිරීමට මේ චණ්ඩ රළ පහරට හැකියාවක් ලැබුණා. එදින අඩි තිහක් උසට සුනාමි රළ ගොඩබිමට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයින් මෙන්ම ස්වාමිපුරුෂයින්ට බිරින්දෑවරුන් අහිමි කළ මෙම ව්‍යසනයෙන් කිසිදා අමතක කළ නොහැකි වේදනාත්මක මතක ගොන්නක් ලාංකිකයින්ට ඉතිරි කළා.

ඉන් අමතක කළ නොහැකි දුක්බරම මතකය වෙන්නේ සුනාමියට ගොදුරක් වූ පැරෑලියේ දුම්රිය ව්‍යවසනය. මෙම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙසයි හැඳින් වෙන්නේ. මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙනවා.

දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කළ අතර.ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බවයි සඳහන් වෙන්නේ.

කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පැරැළිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවුණා. කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පැරෑළිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවතුණා. එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා ඒමන් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරනු ලැබුවා.

මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් ජල පහර ඉදිරියට ගලා ගියා.

සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන්වල ගැටීම නිසා ජීවිතක්ෂයට පත්වුණා.

මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 - 9 ත් පමණ උස් වූ රළ පහරක් බවයි පැවසෙන්නේ.

අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය දුම්රිය ඉතිහාසයේ වාර්තා වී තිබූ වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026