Skip to content
V
රාජ්‍ය ආයතන සඳහා ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට මාර්ගෝපදේශ මාලාවක්
featured news - උණුසුම් පුවත්

රාජ්‍ය ආයතන සඳහා ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

By News Room · 24 March 2026

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දිනයේ නිකුත් කර තිබේ. 

එමඟින් රජයේ කාර්යාලවල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේ දී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා භාවිතා කළ යුතු බවත් ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගතහැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු බවත් දැනුම් දී තිබේ.

විදුලිය සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා ද ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය. විශේෂයෙන් ස්වභාවික ආලෝකය, හැකි සෑම විටකම භාවිතා කිරීමට සහ වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතා කිරීමට යොමුවන ලෙස එම මාර්ගෝපදේශවල සඳහන් වේ. 

ආයතනවල විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කර පියගැටපෙළ භාවිතා කිරීම ප්‍රවර්ධනයට මෙන්ම පළාත්පාලන ආයතන මගින් පාලනය වන විදුලි ලාම්පු අනවශ්‍ය අවස්ථා වලදී නිවා දැමීමට පියවර ගන්නා ලෙස ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

ඊට අමතරව අධිආරක්ෂක හා ආරක්ෂිත කලාපවල හැර අනෙකුත් මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දැමීමට මෙන්ම දිවා කාලය තුළ දී ආයතනවල ඇති රූපවාහිනී යන්ත්‍ර අක්‍රීය කිරීම ද එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්ය.

රාජ්‍ය ආයතනවල මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සිදුකිරීම් සම්බන්ධයෙන් ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ. ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්ය මණ්ඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

නියමිත රාජකාරී වේලාවෙන් පසුව සහ සතිඅන්ත දිනවල අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර කාර්යාලය වසා තැබීමට වගබලා ගතයුතු බවට ද ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේ දී මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු අතර ජාතික බලශක්ති සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් උපරිම සහාය ලබාදීමට වගබලාගතයුතු බව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාලයේ දී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ පැවති උත්සවයක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026