Skip to content
V
රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව
featured news - උණුසුම් පුවත්

රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව

By News Room · 19 November 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා ඔඩුදුවා තිබේ. ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙනි. 

ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය. ඊට අමතරව, සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළේය. 

පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේයි. 

ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි. 

එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණි. 

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. 

එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණි. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර - තේරී පත් නොවූ කංචන විජේසේකර මහතා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මේ අතර, සමගි ජන බලවේගයද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා කිසිවෙක් නම් කර නැහැ. මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය සමග පාර්ශ්ව රැසක් සන්ධානගතව තරග කළ අතර, එම පාර්ශ්වයන්ගෙන් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ද මේ වනවිට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධ අර්බුදයකට මුහුණ පා තිබේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026