Skip to content
V
යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්
featured news - උණුසුම් පුවත්

යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්

By News Room · 11 December 2024

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කෙසේ වෙතත් එම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසන්නීය.

මී උණ රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

උණ සහ ශ්වසන අපහසුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබාගනිමින් පරීක්ෂණ පවත්වන බවත් ඇය පැවසුවාය.

එමෙන්ම පසුගිය 2023 වසරේ දිවයින පුරා මී උණ රෝගීන් 9,000කට අධික පිරිසක් වාර්තා වූ බවත් ඉන් රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වූ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. එමෙන්ම මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝගීන් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

ඇය පැවසුවේ වී ගොවිතැන ආශ්‍රිතව මඩ සහ ජලය ආශ්‍රිතව වගා කටයුතුවල නිරතව සිටින ගොවීන්, ගංවතුරට මුහුණ දී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රිතව වෙනත් රාජකාරි කටයුතුවල නිතරව සිටින්නන්, පතල් ආශ්‍රිතව සහ ජලය ආශ්‍රිත රැකියා කරන්නන් මී උණ රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමට ලක්වන බවය. 

තද උණ, තදබල මස්පිඬු වේදනාව හා ඇස් රතුවීම, මී උණ රෝගයේ රෝග ලක්ෂණ වන අතර ඒ සමග වමනය, හිසරදය, ශරීරයේ අප්‍රාණික බව, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි රෝග ලක්ෂණද ඇති විය හැකි බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය දරුණු මට්ටමට පැමිණීම වළක්වා ගත හැකි බවත් එසේ නොවුනහොත් වකුගඩු, අක්මාව, මොළය ඇතුළු ශරීරයේ අවයව සඳහා දැඩි හානි පමුණුවන අතර මරණයට පවා පත් විය හැකි බවත් ඇය පැවසුවාය.

කුඹුරු හා ජලය ආශ්‍රිත රැකියවන් සඳහා යොමුවන පිරිස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිජිවක ඖෂධ ලබා දෙන බවත් ඒ අනුව තමන්ගේ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මඟින් අදාළ ප්‍රතිජීවක ඖෂධ නොමිලයේ ලබා ගත හැකි බවත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026