Skip to content
V
මන්ත්‍රි ශාන්තගේ ඝාතනය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක්
featured news - උණුසුම් පුවත්

මන්ත්‍රි ශාන්තගේ ඝාතනය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක්

By News Room · 13 August 2025

හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පත් කර තිබෙනවා.

මේ අතර ශාන්ත මුදුන්කොටුව මිය යෑමට හේතුව වෙඩි ප්‍රහාරයෙන් පෙනහළු තුලට ලේ ගමන් කිරීම බවට හෝමාගම මූලික රෝහලේ දී ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබුණා.

මීගොඩ - ආටිගල පාර ප්‍රදේශයේදී ඊයේ පස්වරු 1.10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්. එම අවස්ථාවේ මියගිය ශාන්ත මුදුන්කොටුව ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියා. යතුරු පැදිකරුට එක් වෙඩි පහරක් පමණ එල්ල කර ඇති අතර ඒ සමගම ඔහු යතුරු පැදියෙන් බිමට පැන අසල වූ නිවසකට දිවගොස් තිබෙනවා.

පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩි වැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රි රෝද රථයකට නැගීමත් සමග ඉන් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ගැනීමට උත්සාහ දරූවද එය අසාර්ථක වී ඇති බව සදහන්. පසුව අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 දුරකථන අංකයට දැනුම්දීමෙන් පසුව පොලිසිය පැමිණ කඩිනමින් අදාළ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා.

ඒ අතරතුර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මගින් ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකළ අතර එහිදී තලංගම, පාලං තුන හංදිය ප්‍රදේශයේදී පැමිණි සැක සහිත සුදුපැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටයි.

ඒ අනුව 30 හැවිරිදි මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැක කෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනි අවිය තලංගම පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. කෙසේ වෙතත් වෙඩික්කරු අදාළ පරීක්ෂාවට පෙර තලවතුගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බැසගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

වෙඩි තැබීමෙන් මිය ගිය 46 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා 2013 වසරේ පොදුජන එක්සත් පෙරමුණෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවට තරග කර ජය ලැබූ අතර, 2018 වසරේ පැවති පළාත් පාලන ජන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප්‍රාදේශීය සභාවට තරඟ කර ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබෙනවා.

අවසන් වරට ඔහු පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී සර්ව ජන බලය පක්ෂයෙන් ඉදිරිපත්ව ඇතත් එම ඡන්දයෙන් පරාජයට පත්ව තිබුණා. පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බව ද පොලිසිය සඳහන් කළා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි වාර්තාවන්නේ. ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද සදහන්.

ඔහු ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත්, ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නැමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත්, පොලිසිය සැක කරනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026