Skip to content
V
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්
featured news - උණුසුම් පුවත්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

By News Room · 16 October 2024

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි.

දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම්දී තිබේ.

මේ අතර අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

මෙතෙක් සිදුකර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැයි යන්න ප්‍රශ්නයක්ව පවතින බවද  කියා සිටියේය.

එම නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. රටම ආවරණය වන පරිදි ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද මෙහිදී අවධානයට ලක් විය.

දුප්පත්කම යනු මුදල් නොමැතිකම පමණක් නොව මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන්වීම සහ බරපතළ සමාජ ව්‍යසනයක් බවද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම වෙනුවෙන් ඉලක්ක සහගත වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026