Skip to content
V
භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙස්වලාගෙන පලායද්දී කොටු වෙයි
featured news - උණුසුම් පුවත්

භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙස්වලාගෙන පලායද්දී කොටු වෙයි

By News Room · 24 June 2026

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ  සහ කුඩා දරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන්ව අද (24) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වාලගෙන සිට ඇති බව වාර්තා වෙයි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බලා පොලීසියට භාරවීමට සිටි බවය. මෙම මෙහෙයුම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පූර්ණ අධීක්ෂණය මත සිදුකර තිබුණි.

මෙම සැකකරුවන් පසුගිය දින කිහිපයේ මීගමුව, හලාවත යන ප්‍රදේශවල සිට ඇති අතර ඔවුන් මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සහාය දරා ඇති බව වාර්තා වෙයි. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය. පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබුණි.

මෙලෙස මරණයට පත්ව තිබුණේ, අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඒ අවස්ථාවේදී ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.

සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහාය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 17 වනද උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත.

කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි. එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ. පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026