Skip to content
V
බීමතින් රථයක් අනතුරට පත්කර පළායමින් ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

බීමතින් රථයක් අනතුරට පත්කර පළායමින් ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු රිමාන්ඩ්

By News Room · 27 January 2025

පොලිස් කැබ්‍ රථයකින් ත්‍රිරෝද රථයක් අනතුරට පත්කර පළායමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (26) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදීය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවද අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලීසියේ සිට අඹේපුස්ස දක්වා ගොස් තිබුණේ, කෑගල්ල පොලීසියට අයත් කැබ් රථයකින්ය.

එලෙස යමින් සිටි පොලිස් පරීක්ෂකවරයා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව කොබ්බෑවල ප්‍රදේශයේදී කැබ් රථයට ප්‍රතිවිරුද්ද දෙසින් ආ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවීමෙන් පසු සැකකාර උප පොලිස් පරික්ෂවරයා විසින් කැබ් රථය නොනවත්වා එම ස්ථානයේ සිට වරකාපොළ දෙසට ධාවනය කර ඇත.

එහිදී අනතුරට භාජනය වූ පුද්ගලයා සහ එම ස්ථානයේ සිටි තවත් කිහිප දෙනෙකු කැබ් රථය පසුපස ලුහුබැඳ වරකාපොළ පොලිස් වසමට අයත් තෝලංගමුව ප්‍රදේශයේදී කැබ් රථය නවතා ගෙන තිබුණි. පසුව වරකාපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි වරකාපොළ පොලිස් නිලධාරීන්  සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වරකාපොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටින බවට තහවුරු වී ඇත. සැකකාර පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසිය විසින් කෑගල්ල පොලීසිය වෙත භාරදී තිබේ.

එසේම අත්අඩංගුවට ගත් එම උපපොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026