Skip to content
V
'බටලන්ද වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා' - රනිල් වික්‍රමසිංහ
featured news - උණුසුම් පුවත්

'බටලන්ද වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා' - රනිල් වික්‍රමසිංහ

By News Room · 16 March 2025

බටලන්ද වාර්තාව තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව එම වාර්තාව මඟින් තමාට ඇති චෝදනාව වන්නේ අමාත්‍යවරයා ලෙස පොලිස් අධිකාරීවරයා මඟින් පොලිස් නිලධාරීන්ට බටලන්ද නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීම සුදුසු නොවන බවත් නිවැරදි ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට අදාළ නිවාස භාරදී ඔහු හරහා නිලධාරීන්ට නිවාස ලබාදීම බවයි අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

අදාළ ක්‍රියාව නිසා තමා සහ නලීන් දෙල්ගොඩත් අනියමාකාරයෙන් වගකිව යුතු බවට කොමිෂන් වාර්තාවේ සඳහන් වන බවත් ඒ හැර අදාළ වාර්තාවේ දැක්වෙන වෙනත් කිසිඳු කරුණක් තමාට අදාළ නොවන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කළ බවත් ඒ අවස්ථාවේ රටේ ආර්ථික මරමස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට පැවරූ බවද ඔහු සඳහන් කළා.

බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, වෙළඳ කලාපය ඇතුළු ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් එම ප්‍රදේශයේ පැවති බවත් එහි ආරක්ෂාවට හමුදාව කැඳවූ බවත් එහි ආරක්ෂක අංශවලට රැදී සිටීමට ලංකා පොහොර නිෂ්පාදන සංස්ථාවට අයත් අතහැර තිබූ නිවාස හා ගොඩනැගිලි කිහිපයක් ලබාදීමට තීරණය කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

එවක පැවති භීෂණ කාලයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දැමූ බවත් එම අවස්ථාවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න තමාට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පැවති නිවාස කිහිපයක් ලබාදෙන ඉල්ලීමක් කළ බවත් ඉන් අනතුරුව තමා ඈවරකරුට කතා කර අදාළ නිවාස කැළණිය පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩට ලබාදීමට පියවර ගත් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව 1994 ජනාධිපතිවරණයෙන් පසු බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබුනේදැයි සෙවීමට කොමිසමක් පත්කළ බවත් ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳවූ අතර තමාද සාක්ෂිකරුවෙකු ලෙස එයට සහභාගී වූ බවත් බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් පදනම් කරගෙන බවයි ඔහු පවසා සිටින්නේ.

එමෙන්ම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25 කින් පසුව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමේ සම්ප්‍රදායක් මෙරට හෝ කිසිඳු විදේශ රටක නොමැති බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ. 

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026