Skip to content
V
දිවයිනට රැගෙන ආ පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි
featured news - උණුසුම් පුවත්

දිවයිනට රැගෙන ආ පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි

By News Room · 27 February 2026

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

සැකකරු අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසු කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය අතර ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇත.

ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් පොඩි ලැසී 2016 වසරේදී අත්අඩංගුවට පත්වූ අතර ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝජ් මෙන්ඩිස් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙනි.

අනතුරුව අවස්ථා කිහිපයකදීම මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව පසුවුණි.

එහිදී පසුගිය 2020 වසරේදී බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසකට මරණ තර්ජන එල්ල කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුටද තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට අදාළව 2018 වසරේදී ඔහුට ඇප නියමව තිබුණද පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසය දක්වා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිටවීමට පොඩි ලැසී කටයුතු කර නොතිබුණි.

එහිදී එම වසරේ දෙසැම්බර් මස 09 වැනි දින නීතීඥයින් මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොඩි ලැසී අධිකරණය මගින් නියම කර තිබූ රුපියල් ලක්ෂයක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර ඇප කොන්දේසි සම්පූර්ණ කර පිටව ගියේය.

අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව සැකකරු අතුරුදන්ව සිටි අතර පසුව වාර්තා වූයේ ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බවය.

සැකකරුට ඇප නියම කර තිබුණද ඊළඟ නඩු වාරය දක්වා එහිදී විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබූ අතර ඊට අදාළ ඇප කොන්දේසිද උල්ලංඝණය කරමින් පොඩි ලැසී ඉන්දියාවට මෙලෙස පලා ගොස් තිබුණි.

පසුව ඔහු ඉන්දියාවේ මුම්බායි හිදී පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත් වූ අතර ඒ නීති විරෝධි ලෙස ඉන්දියාවට ඇතුල් වීමේ චෝදනා මතය.

ඊට අදාළ චෝදනා මත පොඩි ලැසී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමටද එරට ආරක්ෂක අංශ කටයතු කර තිබූ අතර ඔහුට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීම සඳහා මෙරටින් නීතීඥවරුන් දෙදෙනෙක් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දියාව බලා පිටත් විය. 

පොඩි ලැසී සම්බන්ධව එරට ආරක්ෂක අංශ විසින්ද මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු දිවයිනට රැගෙන ඒම සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව ඊයේ (26) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය අතර එහිදී එම නිලධාරීන් භාරයට පත් සැකකරු අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026