Skip to content
V
දකුණු කොරියානු ජනාධිපති නෙරපා හරී
featured news - උණුසුම් පුවත්

දකුණු කොරියානු ජනාධිපති නෙරපා හරී

By News Room · 4 April 2025

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය. ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි.

රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදා ය. ඒ සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.

ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය. එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කළේය. තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසිනි.

එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි. මෙලෙස හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් රට දරුණු ජාතික ආපදාවකට හෙලා ඇති බවත්, තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා පවසා තිබේ. එමෙන්ම ලැබී ඇති සාක්ෂි මත පදනම්ව ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය සාධාරණීකරණය කිරීමට නොහැකි බවත් අධිකරණයේ තීරණය වුණි.

මේ සමඟම ජනාධිපති යුන් සුක් යෝල් වහාම ක්‍රියාත්මක වනපරිදි ධුරයෙන් නෙරපා හරින ලෙස අධිකරණය නියෝග කළේය. එමෙන්ම ඔහු වහාම මෙතෙක් රැඳී සිටි ජනාධිපති මන්දිරයෙන් ද ඉවත්ව යා යුතුය. මේ අතර අද සිට දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්ය වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026