Skip to content
V
තිබෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
featured news - උණුසුම් පුවත්

තිබෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

By News Room · 26 November 2024

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට දිනය වන විට සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් සහ ත්‍රිකුණාමලයට 240ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට වන විට සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බව සදහන්. මෙහි බලපෑමෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් වාර්තාවන අතර එය සටහන් වුණේ මිලිමීටර 311.1ක් ලෙසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර ඇතුලු පළාත් 07ක පවුල් 15,713ක පවුල් 55,561ක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සදහා ශ්‍රීලංකා ගුවන් හමුදාව ද හෙලිකොප්ටර් යානා කිහිපයක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව බෙල් 412 හෙලිකොප්ටර් යානා 02ක් සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා 04ක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ ප්‍රකාශ කළේ.

මේ අතර නාවික හමුදාව ද සහන කණ්ඩායම් 134ක් තවදුරටත් සූදානමින් තබා ඇති බව සදහන්. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංගා කිහිපයකම ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව මේ වන විට මාදුරු ඔය, මහවැලි ගග, යාන් ඔය, මහ ඔය, හැඩ ඔය, මුන්දෙනි ආරු ද්‍රෝණිය, කිරිදි ඔය ඇතුලු ගංගා ද්‍රෝණිය කිහිපයකම ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම ගංගාවලින් මහවැලි ගග, හැඩ ඔය, සහ මුන්දෙනිආරු ඔය ආශ්‍රිත පහත් බිම්වලට මේ වන විට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කිරීමටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

එමෙන්ම දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදුරු ඔය නිම්නයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර තත්වය ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අදාල ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැනුම් දෙන්නේ.

මේ වන විට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 18, 000 ආසන්න ජල ප්‍රමාණයක් මුදා හරිමින් පවතින අතර ලැබෙන ජල මට්ටම අනුව මෙම ප්‍රමාණය අද රාත්‍රියේ තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර පරාක්‍රම සමුද්‍රය, රාජාංගණය, අංගමුව, බෝවතැන්න, ලූණුගම්වෙහෙර, වෙහෙරගල, දැදුරු ඔය, පොල්ගොල්ල ඇතුලූ ප්‍රධාන ජලාශ 27 ක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.

නුවරඑළිය සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැඩි පැවතියහොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.

වර්ෂාවත් සමග බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කලූතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයෑම් ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල අද පස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා. එමෙන්ම වර්ෂාවත් සමග අම්පාර, මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පොළොන්නරුව - අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය බාධා එල්ල වී ඇත්තේ අරලගංවිල - බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පාලමක් ගිලා බැසීම හේතුවෙන්. මේ අතර අම්පාර නගරයට පිවිසෙන සියලු මාර්ග ද මේ වන විට ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ද ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අතර මාතලේ අකුරම්බඩ මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් අවට පිරිස් හට ගමනාගමන කටයුතු අඩාල වී තිබුණා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ලවී තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීම් හේතුවෙන් අද දින බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර තිබෙනවා. එසේම, දුම්රිය ධාවනය සිදු වන්නේ කොළඹ සිට නානුඔය දක්වා පමණයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026