Skip to content
V
ජපානයට ඉදිරි සතියේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි තවත් ප්‍රබල භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ජපානයට ඉදිරි සතියේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි තවත් ප්‍රබල භූ කම්පනයක්

By News Room · 9 December 2025

ජපානයට ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, තවත් විශාල භූමිකම්පාවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් වූ ජපාන අගාධය සහ චිෂිමා අගාධය ඔස්සේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි ප්‍රධාන කම්පනයක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි.

මෙම අනතුරු ඇඟවීම, 2022 න් පසු නිකුත් කළ පළමු ප්‍රබල භූ කම්පන අනතුරු ඇඟවීමයි.

හොකයිඩෝ සිට චිබා ප්‍රාන්තය දක්වා ප්‍රදේශ‌ මෙම අනතුරු ඇඟවීම ඔස්සේ ආවරණය කරන අතර නිලධාරීන් උපදෙස් දෙන්නේ ලබන සතිය පුරාම විමසිලිමත් වන ලෙසයි. ජපාන වාර්තා පැවසුවේ ඊයේ රාත්‍රී අවෝමොරි ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 7.5 ක කම්පනයක් ඇති වූ බවයි. කම්පන කේන්ද්‍රයේ ගැඹුර කිලෝමීටර් 54 ක් වී තිබුනා.

හැචිනෝහේ නගරය ජපන් තීව්‍රතා මිනුම (0 සිට 7 දක්වා වන) මත උපරිම 6 ක තීව්‍රතාවයක් වාර්තා කළ බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ. මෙම කම්පනය නිසා ඉහළ මාලයේ ගොඩනැගිලිවලට සැලකිය යුතු ලෙස බලපෑම් කළ හැකි දිගු කාලයක් සිදුවන භූ චලන වාර්තා වී තිබුණා.

භූ කම්පනය හේතුවෙන් මුලින් ඉවාටේ ප්‍රාන්තයට මෙන්ම හොකයිඩෝ සහ අවෝමොරි ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. පසුව ඒවා උපදේශන දක්වා පහත හෙළන ලද අතර, සියලු උපදේශන අද පෙ.ව. 6:20 ට ඉවත් කර තිබුණා. ස්ථාන කිහිපයකදී සෙන්ටිමීටර 70 ක් හෝ ඊට අඩුවෙන් වූ සුනාමි රළ නිරීක්ෂණය වූ බව සඳහන්. භූමිකම්පාව හේතුවෙන් අද දින ප්‍රාන්තයේ පාසල් 139 ක් වසා දමා තිබෙන අතර අවෝමොරි ප්‍රාන්තයේ පොදු පාසල් 7 කින් හානි වාර්තා වී තිබෙනවා.

අද පෙ.ව. 9 වන විට අවෝමොරි සහ ඉවාටේ ප්‍රාන්තවල මහ නගර සභා දෙකක නිවාස 400 කට වඩා වැඩි ප්‍රමාණයකට නළ ජලය නොමැති බව වාර්තා වී තිබුණා. මොරියෝකා සහ ෂින්-අවෝමොරි දුම්රිය ස්ථාන අතර ටෝහෝකු ෂින්කන්සන් බුලට් දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර, ඒවා දහවල් 3:00 ට පමණ නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙසින් ඉවත් වීමේ මාර්ග පරීක්ෂා කරන ලෙස, ගෘහ භාණ්ඩ ආරක්ෂිත බවට වග බලා ගන්නා ලෙස, සහ ආහාර, ජලය සහ රැගෙන යා හැකි වැසිකිළි කට්ටල ඇතුළු හදිසි කට්ටල සූදානම් කරන ලෙසයි. ප්‍රදේශයේ ඇති න්‍යෂ්ටික බලාගාරවල කිසිදු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති බව සඳහන්.

ටෝකියෝ විදුලි බල සමාගම (TEPCO) පවසන්නේ ෆුකුෂිමා ඩයිචි සහ ඩයිනි න්‍යෂ්ටික බලාගාර දෙකම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන නමුත්, පූර්වාරක්ෂක පියවරක් ලෙස ඩයිචි බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීම සඳුදා රාත්‍රී 11:42 ට නතර කළ බවයි.

ප්‍රධාන කැබිනට් ලේකම් කිහාරා මිනෝරු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ වැරදි තොරතුරු (fake-news) සංසරණය වීම වැළැක්වීම සඳහා රජයේ ප්‍රභවයන් හෝ විශ්වාසදායක මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කරන ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අර්බුද කළමනාකරණ මධ්‍යස්ථානයේදී රජය විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026