Skip to content
V
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම්
featured news - උණුසුම් පුවත්

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම්

By News Room · 5 July 2024

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින් පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 ක් දක්වා අඩු කර ඇති බව ය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දෙති.

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවටත් ඔවුහූ චෝදනා කරති.

එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර තිබේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන නීතියක් බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවත් අතරමැදි පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇත.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා නම් කරනු ලැබ සිටිති.

මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වැනිදා කැඳවීමට නියමිතය.

ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ඡන්දය වැළක්වීමට අතුරු නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී තිබෙන බවයි.

"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 බව සඳහන් කර තිබුණා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 03 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එ තුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 05 ක් දක්වා අඩු කිරීමේදී එය ජනමතවිචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැහැ.ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 න්ද නැතිනම් අවුරුදු 06 ක් ද යනුවෙන් ගැටලුවක් මතු වෙනවා. "යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කරු කියා සිටියේ "2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් සැපයීමේ බලය පැවරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි" යනුවෙනි.

මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඒ අනුව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026