Skip to content
V
ජනාධිපති රනිල් නිවේදනයක් නිකුත්කර අභිනව ජනාධිපතිට රට භාරදෙයි
featured news - උණුසුම් පුවත්

ජනාධිපති රනිල් නිවේදනයක් නිකුත්කර අභිනව ජනාධිපතිට රට භාරදෙයි

By News Room · 22 September 2024

ජනාධිපතිවරණයේදී ජනතාව දුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකට රට භාරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමංහගේ සම්පුර්ණ කතාව පහතින් දැක්වේ.

"ආයුබෝවන්, ආදරණීය පුරවැසියනි,

සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කල යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව Q ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කල යුතුයි. මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා. ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබු අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ. ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කලා. වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත් භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුනා. මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්ය භාරය එය කියලයි මම විශ්වාස කරන්නේ. මම රට භාර ගන්නා අවස්ථාවේදී සියයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා.ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හසක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සීය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා.

එසේම ඍණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කලා ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා විශ්වාස කරනවා. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.

මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඉතාම අභියෝගාත්මක වැල් පාළමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරිම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා.

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කරලා තියෙනවා.

ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාව ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණිය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා.''

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026