Skip to content
V
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

By News Room · 18 March 2025

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇත.

පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ. ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.

ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය. සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සිදුකරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙර කටයුතු කළේය. ඒ සටන්විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බලකිරීමේ අරමුණින්.

කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල්කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුදයකට යොමුකරමිනි.

අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, මෙතරම් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ඊයේ දිනයේදීය. මෙහිදී ගුවන් ප්‍රහාරවලට අමතරව, දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර තිබූ බව අල්ජසීරා මාධ්‍ය වාර්තා කර තිබුණි. ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව අමෙරිකාව දැනුම්වත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

හමාස් සංවිධානය යළි සංවිධානය වෙමින් පවතින බවට ඊශ්‍රායලය චෝදනා කරයි. මේ හේතුවෙන් අවශ්‍ය වුවහොත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්, ඊශ්‍රායලය පවසා ඇති අතර, ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති අවකාශ ගැනත් ඉඟි පළකර තිබුණි.

මේ අතර අමෙරිකාව ද මේ වනවිට යේමනයේ හූති ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊට ප්‍රතිචාර ලෙස රතු මුහුදේ අමෙරිකානු යුද නෞකාවට ප්‍රහාර එල්ල කළ බව හූති සටන්කාමීන් පවසයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026