Skip to content
V
කෙහෙළියට ඇප ලැබෙයි
featured news - උණුසුම් පුවත්

කෙහෙළියට ඇප ලැබෙයි

By News Room · 11 September 2024

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු)  සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ඔහුගේ ඇප කොන්දේසි ලෙස සඳහන් විය.

එසේම හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ. මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සඳහන් කළේ, සැකකරු මේ වනවිටත් මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔහු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින් ඔහු ඇප මත මුදාහරින බවය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ ඔහු එම නඩුවේ 8 වැනි සැකකරු ලෙස නම් කරමිනි.

මේ අතර, එම නඩුවේ 7 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර ද අද දින ඇප මත මුදා හැරුණි.  කෙසේ වෙතත්, මෙම නඩුවේ පළමු සැකකරු වන ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සැපයුම්කරු වන සුදත් ජනක නමැත්තා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වෙත ඇතුළත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද ඇප නියම කෙරුණේ මාස 6කට අධික කාලයකට පසුවය. 

අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඉකුත් මාර්තු 14 වනදා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026