Skip to content
V
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි
featured news - උණුසුම් පුවත්

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි

By News Room · 6 November 2024

කෑගල්ල, කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන අරමුණින් එම ඝාතනය සිදුකළ ද එම අවස්ථාවේදී නිවසේ තිබී ඇත්තේ, රුපියල් දස දහසක මුදලක් සහ හිමිකරු පැළඳ සිටි රන් මුදුව පමණක් බව පොලීසිය පැවසීය.

කෑගල්ල, කෙම්පිටිය වලව්වේ හිමිකරුගේ අත්පය ගැටගසා, ගෙල සිරකර ඝාතනය කර  තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 27 වනදා රාත්‍රියේදීය.

එහිදී ඔහුගේ බිරිඳව ගැට ගසා දමාගොස් තිබියදී පොලීසිය මඟින් සොයාගනු ලැබීය. ඒ අනුව විමර්ශන සිදුකළ කෑගල්ල කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා අබේසේකර මහත්මියට තොරතුරක් ලැබී තිබුණේ පසුගියදා දැදිගම සහ වරකාපොළ ප්‍රදේශවලද මේ අයුරින්ම සිදුකළ කොල්ලකෑම් දෙකකට සම්බන්ධ අයෙක් ද මෙම ඝාතනය සඳහා පැමිණ ඇති බවයි.

එමෙන්ම සැකකරුවන් පිළියන්දල තුන්බෝවිල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ද තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් එහි සිටි කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාවගේ වුවමනාව මත මෙම වලව්ව කොල්ලකෑමට ගිය බවය. සැකකාරිය සිය සහෝදරයාට අයත් මෝටර් රථයකින් කුලී පදනම මත කැඳවාගත් රියදුරෙකු සමග සිද්ධිය වූ දින කොල්ලකරුවන් තිදෙනෙකු රැගෙන කෑගල්ලේ පිහිටි අවමගුල් උත්සවයකට යෑම සඳහා බව පවසමින් ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව කෙම්පිටිය වලව්වට මීටර 500ක පමණ දුරින්  සැකකාරිය මෝටර් රථය නවත්වා කොල්ලකරුවන් තිදෙනාව අදාළ නිවසට යවා තිබේ. ඒ අනුව අදාළ වලව්වට ගිය කොල්ලකරුවන් තිදෙනා නිවසට ගොස් එහි හිමිකරු ඝාතනය කර මුළු නිවසම ඇද දමා මුදල් සොයා ඇති බව පොලීසිය පැවසීය.

අනතුරුව එහි තිබී රුපියල් 10,000ක මුදල් සොයගෙන පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අතෙහි වූ රන් මුදුව ගලවාගෙන ගොස් තිබේ. පසුව අදාළ රන් මුදුව රුපියල් 160,000ක මුදලකට සැකකාර කාන්තාව මඟින් රන් භාණ්ඩ අලෙවි සැලකට අලෙවිකර තිබුණි. මෙම ඝාතනයේ 25 හැවිරිදි ප්‍රධාන සැකකරු සමග 53න් හැවිරිදි අදාළ කාන්තාව සමීප සබඳතාවක් පවත්වා ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් දැඩිලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් බව ද පොලීසිය පැවසීය.

සැකකාර කාන්තාව ප්‍රසිද්ධ ආයතනයක ප්‍රමුඛ පෙලේ රැකියාවක් සිදුකරන පුද්ගලයෙකුගේ  බිරියක් වන අතර මුදල් යහමින් ඇති කතක් බවද පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ පසුගිය කාලයේදී මුදල් ගැටලු ඇතිවීම හේතුවෙන් ඇයගේ ප්‍රධානත්වයෙන් මෙම කොල්ලය සිදුකළ බවය. සැකකරුවන් ඊයේ (05) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026