Skip to content
V
කම්කරු දිනය හෙටයි
featured news - උණුසුම් පුවත්

කම්කරු දිනය හෙටයි

By News Room · 30 April 2025

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර කම්කරු දිනය හෙටයි. ඒ නිමිත්තෙන් දේශපාලන පක්ෂ මැයි දින රැළි සහ පෙළපාලි රැසක් සංවිධාන කර ඇති අතර, කොළඹ නගරයේ පමණක් ප්‍රධාන මැයි රැළි, පෙළපාලි , රැස්වීම් හා සැමරුම්, ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතයි. 

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට පළමු මැයි දින සැමරුම් රැළිය කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ 1934 වසරේදීයි. 

රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරට පළමු මැයි රැළිය 1956 වසරේදී සමගි පෙරමුණු රජය යටතේ පැවැති අතර, ඉන් අනතුරුව එවක පැවති රජය, මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට පියවර ගත්තා. 

එදා කම්කරු සහ වෘත්තිය සමිතිවලට සීමා වූ ජාත්‍යන්තර මැයි දිනය, අද වනවිට දේශපාලන පක්ෂ විසින් ද සමරනු ලබනවා. 

කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති සංවිධාන කරන ප්‍රධාන මැයි දින සැමරුම්, පෙළපාලි සහ රැළි හෙට පැවැත්වීමට නියමිතයි. 

රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැළිය යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ගම දිනවන ගමනට කම්කරු බලය යන්න තේමා කරගත් සමගි ජන බලවේගයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ නුවරඑළිය තලවාකැලේදීයි. 

රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළි මහන් රංග පීඨයේදී පැවැත්වෙනවා. 

බොරුව නවතා පොරොන්දු ඉටු කරනු යන්න තේමා කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ ඩාර්ලි පාර පක්ෂ මූලස්ථානයේදීයි. 

IMF මර උගුලට, ඉන්දියානු විජිතකරණයට එරෙහි එළිය බලයක් යන්න තේමා කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සංවිධාන කරන මැයි දින රැළිය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ කොළඹ හයිඩ් පිටියේදීයි. 

මේ අතර මැයි දිනය පැවැත්වීමට කොළඹ හයිඩ් පිටිය වෙන් කිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර අර්බුදයක් ද හටගෙන තිබෙනවා. 

ඒ, පක්ෂ 2කම හයිඩ් පිටිය වෙන් කිරීම හේතුවෙන්. 

කොළඹ මහ නගර සභාව අදාළ ක්‍රීඩාංගණය පක්ෂ 2 සඳහාම ලබා දී ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා. 

කෙසේ වෙතත් මුලින් ක්‍රීඩාංගණය වෙන් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට මැයි දින රැළිය පැවැත්වීම සඳහා එය ලබාදීමට තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කළා. 

මේ අතර ලෝක කම්කරු දිනය යෙදෙන හෙට මැයි දින පෙළපාලි සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. 

පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය සහ ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මේ වනවිටත් පොලිස් මූලස්ථානය අවශ්‍ය උපදෙස් හා නියෝග ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන්. 

කොළඹ නගරය සහ ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන ලෙස පොලිසිය රියැදුරන්ට උපදෙස් දී තිබෙනවා. 

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු අවශ්‍ය විටකදී, ඒ සඳහා රථ වාහන පොලිස් නිලධාරීන්ගෙන් සහය ලබාගත හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026