Skip to content
V
අයිස් මත්ද්‍රව්‍ය කම්හළක් මාළඹේ: විෂ වායුවක් නිසා 2ක් මරුට
featured news - උණුසුම් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය කම්හළක් මාළඹේ: විෂ වායුවක් නිසා 2ක් මරුට

By News Room · 14 August 2024

මාලබේ කහන්තොට පාර ප්‍රදේශයේ ජයන්ති මාවත නිවසක් තුළ දී විෂ දුමක් නිසා සැකකටයුතු ලෙස දෙදෙනෙකු මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මියගිය දෙදෙනා රසායනික ද්‍රව්‍ය භාවිත කර නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් බවට සැක පහළ කළ හැකි කරුණු රැසක් අනාවරණය වී ඇතැයි මාලබේ පොලීසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා අද (14දා) දින පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා සමග පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර එම පිරිස නිවසට ඇතුළු වී මූලික පරීක්ෂණයක් සිදු කර ඇත. ඉන් අනතුරුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාර්න් පිරිසක් පැමිණ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි වී තිබේ. ඉහත දෙපාර්ශ්වයටම එම ස්ථානයේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය පිළිබඳව අනුමානයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ආරක්ෂිත ඇඳුම් සමගින් රසායනික ද්‍රව්‍ය තිබූ නිවසේ කාමරයට ඇතුළු වී සිදුකළ පරීක්ෂාවෙන් අනතුරුව මෙම රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට හඳුනා ගත් බවද පොලීසිය පවසයි.මෙම නිවස තුළදී රසායනික ද්‍රව්‍යවලින් ඇති වූ විස කාන්දුවක් නිසා ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සැකකටයුතු ලෙස පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබුණි.මෙලෙස මියගොස් ඇත්තේ මාලබේ ජයන්ති මාවත ග්‍රීන් ටෙලිස් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන එම නිවසේ හිමිකරු වූ ජෝසප් මයො නැටෙනියෝ (63) සහ මොනරාගල බකිනිගහවෙල බිබිල පාර 17 කණුව පදිංචිකරුවකු වන දිසානායක මුදියන්සේලාගේ සමන්ත පුෂ්පකුමාර (45) නමැති රියදුරෙකි.සිද්ධිය වූ දින එම නිවසේ හිමිකරු ඔහුගේ රියදුරු සහ තවත් අයෙකු සමග එම නිවසට පැමිණ එක් අයෙකු ඉදිරිපස සාලයෙහි සිටියදී නිවසේ හිමිකරු සහ රියදුරු නිවස තුළට ගොස් ඇති බවත්, අනතුරුව රියැදුරු ඔසවාගත් නිවසේ හිමිකරු නිවසෙන් පිටතට පැමිණ රෝහල්ගත කිර්මට අවශ්‍ය බව පවසා සෙමින් සුඛෝපභෝගී මෝටර් රථයකින් රෝහලක් වෙත යමින් සිටියදී නිවසේ හිමිකරු ද දැඩි ලෙස රෝගාතුරු වී ඇතැයි ද අනතුරුව දෙදෙනාම කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගියද දෙදෙනාම එම අවස්ථාවේදීත් මියගොස් සිටි ඇති බැවින් එම පෞද්ගලික රෝහල විසින් සිරුරු දෙක භාරගෙන නොතිබූ බවද පොලීසිය පවසයි.ඉන්පසු එම සිරුරු දෙක රැගෙන මෝටර් රථය පැදවූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට අදාළ සිරුරු දෙක රැගෙන ගොස් ඇතැයිද අනාවරණය වේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාර් කණ්ඩායමේ පොලිස් පරීක්ෂකවරයෙකු එම අවස්ථාවේදී ආරක්ෂිත ක්‍රමෝපායන්ට අනුව නිවසට ඇතුළු වුවද එම නිලධාරියා ද රෝගී බවට පත්වීම නිසා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.එම නිවස තුළ තිබී ප්ලාස්ටික් ඇසුරුමක බහාලූ රසායනික ද්‍රව්‍ය අඩංගු තහඩු කෑන් තුනක් සහ ප්ලාස්ටික් කෑන් දහයක අඩංගු තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් හමු වූ බවත්, නිවසේ නාන කාමරයෙහි තිබූ උපාංග කොටස් ගණනාවක් කැඩී බිඳී විනාශ වී තිබෙනු දකින්නට ලැබුණු බවත් පොලීසිය පවසයි.මෙහිදී පොලීසිය සිදුකළ මූලික විමර්ශනයේදී නිවසේ හිමිකරු සතියකට දින දෙකක් පමණ අදාළ නිවසට පැමිණෙන බවත් අසල්වාසීන් ලබාදුන් කටඋත්තරවල සඳහන් බවද පොලීසිය පවසයි.එසේම නිවසේ හිමිකරු සමග මියගිය රියදුරුගේ ඥාතීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා වසර කිහිපයක සිට විශාල වශයෙන් මුදල් වැය කර ඇති බවත්, ඔහු සතුව මුදල් විශාල වශයෙන් ගැවසීමත් දැක ගත හැකි වූ බවට පැවසූ බවත් පොලීසිය පවසයි. ඒ අනුව මියගිය පුද්ගලයාට අයත් බව කියන දෙහිවල නැදිමාල කවුඩාන පාර ප්‍රදේශයේ තවත් නිවසක් පරීක්ෂා කිර්ම සඳහා තලංගම පොලීසියේ නිලධාර්න් පිරිසක් එහි යැවීමට කටයුතු කළ බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අදාළ මරණ සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා විසින් සිදු කරන ලදි.කොළඹ ජාතික රෝහලේ මෘත ශරාගාරයේ තබා ඇති මියගිය දෙදෙනාගේ දේහ දැඩි ලෙස නිල් පැහැයට හුරුව තිබීමත්, ශර්රයේ බොහෝ ස්ථාන පිලිස්සී තිබීමත් නිසා ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස ද මෙහිදී වැඩ බලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා නියෝග කළේය.එසේම අදාළ මරණ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු පිළිබඳ ප්‍රගති වාර්තාව සහ අනෙකුත් වාර්තා මෙම මස 27 වැනි දින කඩුවෙල අධිකරණය වෙත යොමු කරන ලෙස ලෙස ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.තලංගම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතා ඇතුළු තලංගම පොලීසියේ නිලධාර්න් කණ්ඩායමක් සහ බස්නාහිර දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026