Skip to content
V
බදුල්ලේ මාරක බස් අනතුරක්
Local

බදුල්ලේ මාරක බස් අනතුරක්

By News Room · 1 November 2024

බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන් 6දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය. අද පෙරවරු 8ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතරය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් මෙම බස් රථය මාර්ගයේ අනෙක් පස තිබූ කණ්ඩියක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුවුණි. ඒ වනවිට බස් රථය තුළ සිසු සිසුවියන් ඇතුළු 41 දෙනෙකු සිට තිබුණි.

අනතුරින් තුවාල ලැබූවන් බස් රථයෙන් පිටතට ගැනීමට ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත් වූ අතර ඔවුන් පිටතට ගැනුණේ මහත් පරිශ්‍රමයකිනි. ඒ අනුව තුවාල ලබා සිටි 39 දෙනෙකු කඩිනමින් බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

බදුල්ල ශික්ෂණ රෝහලේ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් 6 දෙනා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සෙසු පිරිස සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවය.

මේ අතර සැත්කම් සිදුකිරීමට නියමිත පිරිස ඒ සඳහා කඩිනමින් යොමුකරමින් සිටින බව ද පැවසු වෛද්‍යවරයා, තවත් දරුවෙකුගේ ජීවිතයක් අහිමිවීමට ඉඩ නොදී කෙසේ හෝ බේරාගැනීමට උත්සාහ ගන්නා බව ද පැවසීය.

40 දෙනෙකුගෙන් යුත් මෙම පිරිසට යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක්, උපදේශකයින් 5 දෙනෙකු සහ අභ්‍යාසලාභීන් ඇතුළත් ය.

ඔවුන් අනතුරට ලක්ව තිබුණේ, ඊයේ (31) පස්සර පැල්ගහතැන්න කළමනාකරණ ආයතනයේ නවාතැන් ගෙන යළි ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා යමින් සිටියදීය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය කණ්ඩියේ ගැටෙන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025