Skip to content
V
පොහොට්ටුවෙන් ධම්මික වෙනුවට නාමල්
Main news - රධාන පුවත

පොහොට්ටුවෙන් ධම්මික වෙනුවට නාමල්

By News Room · 6 August 2024

ධම්මික තරග නොකරන බව මහලේකම්ට ලිඛිතව එවයි

පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස එහි ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අද (7දා) නම් කරනු ඇතැයි ‘විශ්වවාහිනිය’ට වාර්තා වේ.

ඒ අනුව ජනපති අපේක්ෂකයා වශයෙන් නම් කරනු ඇතැයි මෙතෙක් වාර්තා පළ වූ ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරා ඊට නම් කිරීම සිදුනොවනු ඇතැයි කියැවේ.

පෞද්ගලික කාරණයක් මුල් කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ව්‍යවසායක ධම්මික පෙරේරා තීරණය කර ඇති අතර සිය තීරණය පක්‍ෂ ලේකම් සාගර කාරියවසම් වෙත ලිපියකින් දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම 7දා පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට පරිශ්‍රයේදී සිදුකිරීමට මීට පෙර කටයුතු යොදා තිබුණු අතර ‘ඊළඟ ජනපති අගෝස්තු 7 කලඑළි බසී’ මැයෙන් පෝස්ටරයක්ද රට පුරා අලවා තිබිණි.

පොහොට්ටු ජනපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම අද උදෑසන 7.00ට නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවට පක්ෂ ලේකම් සාගර කාරියවසම්ගේ අස්සනින් මාධ්‍ය නිවේදනයක් යොමුකර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරාට ලබාදීමට එහි ක්‍රියාකාරී සංවිධායක පාර්ශ්වය උත්සාහ ගනිද්දී පක්ෂය දෙකඩවීම වළක්වාගැනීම අරමුණු කරගනිමින් එහි ජ්‍යෙෂ්ඨතමයකු ප්‍රමුඛව මැදිහත් වෙමින් සිටින බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පසුගිය ජූලි 27 වැනිදාද සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී සාකච්ඡා කර තිබුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම පිළිබඳවය.

අතර පක්ෂය අවස්ථාව දෙන්නේ නම් ජනාධිපතිවරණයට තරග වැදීමට තමා සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරා මහතා පසුගියදා (28දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සමුළුවෙන් පසු නැවත වරක් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රිවරු 112 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්කිරීමේදී රජයට සහාය පළ කළ අතර ඉන් මන්ත්‍රිවරුන් 90 දෙනකු පාර්ලිමේන්තුවට සෘජුවම තේරී පත්වූයේ පොහොට්ටුව ලකුණින් මැතිවරණයට තරග කිරීමෙනි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025