Skip to content
V
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද
Main news - රධාන පුවත

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද

By News Room · 26 October 2024

අද (26) උදෑසන 07ට ආරම්භ වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ඊයේ පෙරවරුවේ සිදුකෙරුණා.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත් කර ගැනෙනවා. ඒ සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනවා. එමෙන්ම මෙම ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 14 සහ 18 යන දෙදින තුළ සිදුකෙරුණා. ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 600ක් සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 500ක් යොදවා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින්ගේ වම් අතෙහි සුළඟිල්ල සලකුණු කර තිබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සලකුණු කෙරෙන්නේ වම් අතෙහි මහපටැඟිල්ලයි.

2018 පෙබරවාරි 10 වැනිදා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණු අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් එම පක්ෂය අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹුණා. ඒ අනුව කල් දැමුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම යළි පැවැත්වුණේ ඊට වසර එක හමාරකටත් අධික කාලයකට පසුවයි. එනම්, 2019 ඔක්තෝබර් 11 වැනිදායි.

මෙරට සෙසු සියලු පළාත් පාලන ආයතනවල කාලය පසුගිය 2023 වසරේදී අවසන් වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මකව පැවතියේ ඒ හේතුවෙන්. එහි කාලය අවසන් වූයේ පසුගිය අගෝස්තු 26 වැනිදා වන අතර, ඉන් පසුව තීරණය කෙරුණේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද පැවැත්වීමටයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025