Skip to content
V
අල්ටෙයාර් ගොඩනැගිල්ලේ දිවි නසාගැනීමේ සිද්ධියට සමාන නෙළුම් කුළුනේ දිවි නසාගැනීම
Main news - රධාන පුවත

අල්ටෙයාර් ගොඩනැගිල්ලේ දිවි නසාගැනීමේ සිද්ධියට සමාන නෙළුම් කුළුනේ දිවි නසාගැනීම

By News Room · 8 October 2024

නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය, පසුගියදා කොම්පඤ්ඤවීදියේ පිහිටි  අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ සමීපතම මිතුරියක් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

16 හැවිරිදි එම පාසල් සිසුවිය නෙළුම් කුලුනේ 29 වැනි මහල හෙවත් නැරඹුම් මහලෙන් ඊයේ පස්වරු 3.15ට පමණ බිමට පැන සියදිවි නසාගෙන තිබුණි. මියගිය සිසුවියගේ සිරුර සොයාගැනුණේ එහි තුන්වැනි මහලෙනි. ඇයගේ සිරුරට දැඩිලෙස හානි සිදුව තිබුණි. ඇය ප්‍රවේශ පත්‍රයක්ද මිලදීගෙන පාසල් නිල ඇඳුමෙන් සැරසී නෙළුම් කුලුනට ඇතුළු වී ඇත්තේ ඊයේ පස්වරු 2.30ට පමණ ය. එහි ලොබියේ මද වේලාවක් රැඳී සිටි සිසුවිය වැසිකිළියට ගොස් සිය පාසල් නිල ඇඳුම මාරුකර වෙනත් ඇඳුමක් ඇඳ නෙළුම් කුලුනේ නැරඹුම් මහලට පැමිණ ඇති බව වාර්තාවෙයි. එම ස්ථානයේ විනාඩි කිහිපයක් සිටි ඇය සිය පාසල් බෑගලය, උපැස් යුවල හා සපත්තු යුගල ගලවා පසෙක තබා තත්පර කිහිපයක් තුළදී බිමට පනින අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව පැවසෙයි. එය සිදුවන විට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් පස්දෙනෙකු සිට ඇති අතර ඇය බිමට පැන ඇත්තේ ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වන තෙක් සිටීමෙන් පසුව ය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අදාළ ස්ථානය නිර්මාණය කර තිබීම හේතුවෙන් ඇය බිමට පැනීම සඳහා යම් පරිශ්‍රමයක් දරා ඇති බව වාර්තාවෙයි. එලෙස මියගිය සිසුවියගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ඇයගේ පාසල් බෑගය පිරික්සීමේදී පොලීසියට අනාවරණ වී ඇත්තේ, සිසුවිය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන බවයි.

ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී ඇය කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බවද අනාවරණ වී තිබුණි. පසුව ඇයගේ පියාව මරදාන පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, මියගිය සිසුවිය පසුගිය ජූලි මස දෙවැනිදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් සිසුවියගේ හා සිසුවාගේ සමීපතම මිතුරියක් බවයි.අදාළ දෙදෙනා හා ඊයේ මියගිය පාසල් සිසුවිය එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබා ඇති බව ද ඔහු පවසා තිබේ. කොම්පඤ්ඤවීදියේ පිහිටි  අල්ටෙයාර් කුලුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය අවසන් වරට පංතියෙන් පිටව යෑමේදී ඊයේ දිනයේදී නෙළුම් කුළුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය සමග කතාබහ කර කිහිපවරක් සිප වැළඳ ගෙන ඇති බව ඇයගේ පියා පොලීසියට පවසා ඇතැයි වාර්තාවිය.

ඒ අනුව අදාළ සිදුවීමෙන් පසුව එම සිසුවිය දැඩි කම්පනයෙන් සිට ඇති අතර මෙම සියදිවි නසාගැනීමට එම සිදුවීම ආසන්නම හේතුව වන්නට ඇති බව ඇයගේ පියා පොලීසියට පවසා ඇත්තේය. අදාළ සිදුවීම් දෙකෙහිම සමාන ලක්ෂණ රැසක් දැකගත හැකි බව පොලීසිය පවසයි. ඒ, පාසල් නිල ඇඳුමින් පැමිණ තිබීම, පසුව නිල ඇඳුම මාරු කර වෙනත් ඇඳුමකින් සැරසීම, පාසල් බෑගය සහ සපත්තු පසෙක තබා තිබීම සහ ප්‍රසිද්ධ ඉතා උස් ස්ථානයක් තෝරාගෙන තිබීම එම ලක්ෂණ වෙයි. මේ අතර මිය ගිය සිසුවියගේ මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන එනු ලැබීය.

එම ස්ථානයට නෙලුම් කුලුනේ උසස් නිලධාරීන් හා අදාළ දැරියගේ ඥාතීන් ද පැමිණ සිටියේය. අනතුරුව එම සිසුවියගේ දේහය අද පස්වරුවේ ඥාතීන්වෙත භාර දෙනු ලැබීය. මේ අතර මනෝ විශේෂඥයින් පෙන්වා දෙන්නේ නව යොවුන් වියේ දරුවන්ගේ හැසිරීම් පිළිබඳ මව්පියන් සුපරික්ෂාවෙන් පසුවමෙන් මෙවන් සිද්ධි වළක්වාගත හැකි බවයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025